Monday, June 22, 2015
‘කන්නා’දූපතෙන් වාර්තාවක්; වසර පනහකට පසු හොරකමක්
ස්කොට්ලන්තයේ ‘කන්නා’(Canna) දූපත් වැසි ජනතාව ගෙවී ගිය සති අන්තයේ පටන් බලවත් කනසල්ලකට පත් ව සිටිති.
ඊට හේතුව වසර පනහකට අධික කාලයකට පසුව එම දූපතේ සොරකමක් සිදු වීමයි.
සොරකම සිදු කොට ඇත්තේ දූපත් වාසීන් විසින් පවත්වා ගෙන යනු ලබන පොදු වෙළෙඳ සැලෙනි.
‘කන්නා’ (Canna) දූපතට පිවිසෙන ජැටියේ ආරුක්කු මත පවත්වා ගෙන යනු ලබන ‘අවංක පාරිභෝගිකයන්ගේ පොදු වෙළෙඳ සැලේ’ විශේෂත්වය වන්නේ මූල්‍ය අයකැමියකු හෝ කිසිදු මුරකරුවකු එහි නොවීමයි.
පොදු වෙළෙඳ සැල පවත්වා ගෙන යන ස්වේච්ඡා කාර්ය මණ්ඩල විසින් භාණ්ඩ සැපයීම සහ ඒවා රාක්ක මත තැන්පත් කිරීම සිදු කෙරෙන අතර තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගත් පාරිභෝගිකයන් නියමිත මිළ අනුව ඔවුන් ලබා ගත් භාණ්ඩ සඳහා ගෙවිය යුතු මුළු මුදල් එහි තබා තිබුණ විශේෂ පෙට්ටියක් තුලට බහා ලීමයි චාරිත්‍රයක මට්ටමින් මෙතෙක් සිදු වෙමින් තිබුණේ.
එහෙත් මේ සති අන්තයේ එම වෙළෙඳ සැල පරීක්ෂා කළ ස්වේච්ඡා කණ්ඩායමකට පෙනී ගියේ වසර පනහකට අධික කාලයක් ගැටලුවකින් තොරව පෙරට යමින් තිබුණ එම චාරිත්‍රය බිඳ දමා ඇති බවයි.
සති අන්තයේ සිදු වී තිබුණේ පොදු වෙළෙඳ සැලේ රාක්ක මත තබා තිබුණ රස කැවිලි ,අතින් ගොතන ලද හිස් වැසුම් සහ සනීපාරක්ෂක භාණ්ඩ රැසක් කිසිවකු විසින් නියමිත මිළ නොගෙවා රැගෙන යාමයි.
‘කන්නා’දූපතේ සොරකමක් සිදු වීම ඉතාම දුර්ලභ සිද්ධියක් ලෙසයි සැලකෙන්නේ.
බිඳ වැටුණ චාරිත්‍රය
මින් පෙර එම දූපතෙන් සොරකමක් වාර්තා වී ඇත්තේ 1960 දශකයේදීය.
ඒ දේවස්ථානයක තිබුණ කැටයම් කරන ලද දැවමය පුවරුවක් සොරකම් කරනු ලැබීමකි.
එම දූපත අයිති ස්කොට්ලන්ත ජාතික පදනම පවසන්නේ දූපත් වාසී ප්‍රජාව විසින් පවත්වා ගෙන යන ලද ‘අවංක පාරිභෝගිකයන්ගේ පොදු වෙළෙඳ සැල’ එවැනි තත්වයකට පත් වූ බව ඇසීමත් කනගාටුවට කාරණයක් බවයි.
සොරකම සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රී අටත් සෙනසුරාදා උදෑසන අටත් අතර යයි පවසන පොලිසිය එම කාලය තුල ජැටියට ලඟා වූ කිසිවකු ගැන විපරමින් සිටියි.
වසර පනහකට අධික කාලයක් කිසිදු කාර්ය මණ්ඩලයකින් තොරව දවසේ පැය විසි හතර පුරාම ජනතාවට විවෘත කර තිබුණ ‘අවංක පාරිභෝගිකයන්ගේ වෙළෙඳ සැල’ අලුතින් උද්ගත වූ කණගාටුදායක තත්වය හමුවේ එහි ස්වේච්ඡා කාර්ය මණ්ඩල සාමාජිකයන් නොමැති අවස්ථා වල වසා දැමීමට දැන් පියවර ගෙන ඇත.
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment